Kalawathi

Biography
එස්. කලාවතී දමිළ ජාතික ගායිකාවක් වුණත් ඇය වැඩිපුරම ගායනා කර ඇත්තේ සිංහල ගීත. ඇය ෆ්‍රෙඩී සිල්වා සමගින් ගැයූ,
‘තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ළෙන්ගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී’
ගීතය කිසිකලක අමතක වන්නේ නැහැ. නමුදු ඇය නිසි ඇගයීමකට පත්වී නොවීමත් කනගාටුවට කාරණයක්. මේ ඇය ගීත ක්ෂේත්‍රයේ තබපු මුල් පියවරයන්….
‘‘මගේ අම්මා, තාත්තා එක්ක සහෝදරියෝම හයක් ඉන්න පවුලේ මම තුන්වෙනියා. මගේ තාත්තා තුරෙයිසාමි, තාත්තා මොල්ඩින් වාදනය කරන කෙනෙක්. අම්මගේ නම රාසම්මා. අම්මට හොඳටම ගායනා කරන්න පුළුවන්. ලොකු අක්කට හොඳටම ගීත ගායනා කරනවා. එයා ගුවන්විදුලියේ පවා ගීත ගායනා කරලා තියෙනවා. මමත් ඉතින් අක්කලා ළඟ වාඩිවෙලා එයාල එක්කම ගීත ගායනා කරනවා. මගේ නංගිලාටත් මට වගේම ගීත ගායනා කරන්න පුළුවන්.
මට අවුරුදු පහේ සිට හොඳින් ගායනා කරන්න පුළුවන්. මම ඉස්කෝලේ ගියේ පොන්ඩර් විද්‍යාලයට. දැන් නම් හඳුන්වන්නේ කොළඹ හින්දු විද්‍යාලය කියලා. අක්කලා දෙන්නයි, මමයි එක ඉස්කෝලේ තමා ඉගෙන ගත්තේ. පාසල් ගීය ජාතික ගීය එහෙම මම හොඳින් ගයන නිසා පාසලේ සංගීත ගුරුතුමිය මට ගොඩක් ලැදි වුණා. ඒ එක්කම පාසලේ තියෙන හැම උත්සවයකම වගේ අක්කලා දෙන්න එක්ක මමත් ගීත ගායනා කළා.
1962දී සංගීත ගුරුතුමිය තමයි මාව එක්කන් ගියේ ගුවන්විදුලියට. දැන් ගුවන්විදුලිය කිව්වට ඒ කාලේ අපි කිව්වේ රේඩියෝ සිලෝන් කියලා. මට ළමා වැඩසටහන්වල ගීත ගායනා කරන්න ලැබුණා. ඊට පස්සේ ඉතින් දිගටම මම රේඩියෝ සිලෝන් එකේ විවිධ වැඩසටහන්වල ගීත ගායනා කළා. මම අදටත් හරිම සතුටුයි කියන්න මම හැදුණේ ගුවන්විදුලියෙන් සහ මගේ පාසලින් කියන්න. මට මේ තැනට එන්න ගොඩක් උදව් කළේ මගේ සංගීත ගුරුතුමිය වගේම මගේ පාසලේ විදුහල්පති. (ඉස්සර අපි කියන්නේ හෙඩ් මාස්ටර් කියලා)
මම තරගවලට සභාගිවෙලා නැහැ. හැබැයි මම පාසල් කාලේ පටන් විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවාට ගොඩක් උදව් කළේ මගේ පාසලේ විදුහල්පතිතුමා. තරගයකට කියලා මම සහභාගි වෙලා තියෙන්නේ සමස්ත ලංකා තරගවලට පමණයි. එකෙත් මම මුලින්ම 1966 දී අයැදුම් කරපු එකෙන් මම පැරදුණා. මම අයැදුම් කරලා තියෙන්නේ නියමිත දින පහුවෙලා නිසා. ඉතින් ඊට පස්සේ 1967 වසරේදී තමා මට සමස්ත ලංකා පළමු ස්ථානය දිනාගෙන මගේ පාසලට කීර්තියක් අරන් දෙන්න පුළුවන් වුණේ.
මම කුඩා කාලෙම මගේ තාත්තා නැතිවෙනවා. ඒ 1963 දී මළගෙදරක යද්දී හදිසි අනතුරක් වෙලා. ඒ අතින් මම හරිම අවාසනාවන්තයි. මගේ අම්මා හරි ශක්තිමත් ගැහැනියක්. ඇය තාත්තත් නැතිව අපි හය දෙනාම හොඳින් බලා ගත්තා. රැකියාවක් කළේ නැති නිසා තාත්තා නැති වුණාම ආර්ථික ප්‍රශ්න එක්ක අම්මා කළේ බීඩි කොළ ඔතන එක. ඒකෙන් ලැබෙන්නේ රුපියල් 5යි. ඒකෙන් තමා අපිව ජීවත් කළේ. අම්මා ගැන මතක් කරද්දී මට පුදුම දුකක් අදටත් දැනෙන්නේ. (ඇස් කඳුළුවලින් පිරෙනවා…. ටික වෙලාවකින් පසු)
කොහොම හරි මම ලොකු ළමයෙක් වුණාට පස්සේ අම්මා මුලදී පාසල් යැව්වේ නැහැ. මගේ විදුහල්පතිතුමා බී.එම්. බලසුන්දරම් මහත්තයා අපේ ගෙදර ඇවිත් එහෙම කරන්න එපා අම්මා. මේ ළමයට හොඳ අනාගතයක් තියෙනවා කියලා කිව්වට පස්සේ තමා මට ආයේ පාසල් යන්න ලැබුණේ. අදටත් එතුමාව මට මතක් වෙද්දී ඇහැට කඳුළක් එනවා.
ඔය අතරේ මගේ අම්මට පිළිකාවක් හැදුණා. මට ඕනේ වුණේ කීයක් හරි හම්බ කරගන්න. ඒ වෙද්දී ගුවන්විදුලියට සම්බන්ධ වෙලා හිටිය නිසා එහි හිටියා වේයන්නා ආනා ශිවඥානම් කියලා මහත්තයෙක්. එයාගේ වැඩසටහනකට මම ගීතයක් ගායනා කරලා රුපියල් 7.50ක් ලැබුණා. හැබැයි මට වාසනාව ලැබුණේ නැහැ මම කීයක් හරි හම්බ කරලා මගේ අම්මව සතුටු කරන්න. මොකද මගේ අතට සල්ලි ලැබෙනකොට මගේ අම්මා අපි අතරින් සමුගෙන.
අම්මා අසනීපෙන් ඉන්න කාලෙම ලොකු අක්කට විවාහයක් කරලා දීලා තිබුණේ. අම්මා නැතිවුණු දා ඉඳන් අම්මා තාත්තා වගේ අපි පස්දෙනාම බලාගත්තේ අක්කයි, අයියයි. අපේ පවුලේ ඔක්කොම හරිම ගුණ යහපත්. මම ආයේ ඉපදීමක් පතන්නේ නැහැ, ඒත් කියන්න බෑනේ ඉරණම එහෙම ඉපදෙනවා නම් අදටත් මම ප්‍රාර්ථනා කරන්නේ අපි ඔක්කොම ආයේ එකට ඉපදෙන්න ඕනේ කියලා. මගේ අක්කා නැති වුණා. එයා නැති වුණාම තමා මම දැනගත්තේ කොයි තරම් නම් මිනිස්සුන්ට උදව් කරලද කියලා. මම වුණත් ලොකුවට මුදල් හොයලා නැහැ. හැබැයි මට ආදරය කරන හිත හොඳ මිනිස්සු මම හම්බකරලා තියෙනවා.
මුලින්ම ගීතයක් කියලා ගායනා කළේ 1971දී අරන්ගේත්‍රම් වැඩසටහනට දමිළ ගීතයක්. ඊට පස්සේ 1974 දී වී.පී. ගනේෂන් මහතා කරපු දමිළ චිත්‍රපටයක ගීත ගායනා කළා. ඔය අතරේ සිංහල චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා ගාමිණී ෆොන්සේකා මහත්තයගෙන්, ඒ ආරාධනාව අරගෙන ආවේ වික්ටර් අයියා. ඒ ‘තවලම’ චිත්‍රපටයට ‘පෙම්බර ස්වාමි ගීතය. පටිගත කළේ 1977 මැයි මාසේදී ගීතය ලිව්වේ සුනිල් ආරියරත්න මහතා මම හරිම භාග්‍යවන්තයි කියලා හිතෙනවා එතුමාගේ ගීතයක් පළමුව ගායනා කිරීමට ලැබීම. සංගීතවත් කළේ වික්ටර් රත්නායක මහතා. දෙවැනි ගීතය ‘තේ කූඩය’ ගීතය. ඒක ලිව්වේ හේමසිරි හල්පිට, සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් මහත්තයා.
මම ගුවන්විදුලියේ විශේෂ ශ්‍රේණියේ ගායිකාවක්. සිංහල සරල ගී ගායිකාවක් විදියටත් මම මුලින්ම ‘බී’ ශ්‍රේණියේ හිටියා. ඊට පස්සේ සනත් නන්දසිරි අයියා තමා මාව ඒ ශ්‍රේණියේ ගායිකාවක් කළේ. මම සනත් අයියට කිව්වා අයියගේ මෙලඩි එකකට සින්දුවක් කරන්න ආසයි කියලා. ඊට පස්සේ සරල ගී තුනක් කළා. දෙකක් තනියම, එකක් සනත් අයියා එක්කම ‘දේවතාවියක්’ කියන ගීතය ගායනා කළා. ඒක ලිව්වේ ප්‍රණීත් අබේසුන්දර. ඒ තැටි තියෙනවා ගුවන්විදුලියේ.
ඒ වගේම සනත් අයියා සංගීතවත් කළ අජාසත්ත චිත්‍රපටය ‘මගධ දේශ බිම්බිසාර’ කියන ගීතය. ‘සරුංගල්’ චිත්‍රපයට මම ගීතයක් ගායනා කළා. එකේ පද යෝගා බලසුන්දරම්, සංගීතය වික්ටර් රත්නායක අයියා. මම ලයනල් අල්ගම, සරත් දසනායක, ටී.එෆ්. ලතීෆ්, ආර්. මුත්තුසාමි, එම්.එස්. සෙල්වරාජා, එම්.කේ. රොක්සාමි, මොහොමඩ් සාලි, ෂෙල්ටන් ප්‍රේමරත්න, ස්ටැන්ලි පීරිස්, මෙල්රෝයි ධර්මරත්න, සරත් ද අල්විස්, සරත් වික්‍රම, යන සියලුම දෙනාගේම තනුවලට මට ගීත ගායනා කරන්න ලැබුණා. මම ඒ අතින් හරි වාසනාවන්තයි.
ෆ්‍රෙඩී සිල්වා මහතා එක්ක ගායනා කළ ගීත අතිශය ජනප්‍රිය වුණා. මුලින්ම මම ෆ්‍රෙඩී අයියා එක්ක ගැයූ ගීතයත් තේ කූඩය. ඒක අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හොඳම කාලය තමා ෆ්‍රෙඩී අයියා එක්ක සින්දු කිව්ව කාලය. මම අදටත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ෆ්‍රෙඩී අයියා මතක් කරන්නේ. ඒ පවුලේ දරුවෝ වුණත් එදා වගේම අදත් මගේ එක්ක හිතවත්.
අනුෂා රණසිංහ ( අරුණ පුවත් පත සමග )
Videos
Photos